අද අමුතු දෙයක් උනා. අපේ ගෙදර පූස් පැටව් තුන් දෙනෙක් හිටියා. ඔක්කොම පූසෝ හතක්! ඊයේ රාත්‍රියෙත් ඔක්කොම හිටියා. අද උදේ බලද්දි පූස් පැටවු දෙන්නෙක් නැහැ. මීට කලින් උන් මෙහෙම තනියම ඇවිදින්න නම් ගිහින් නැහැ. ඊයෙ උකුස්සෝ දෙන්නෙකුත් ඇවිල්ල නම් හිටියා. නමුත් උන් රාත්‍රියට එතරම් ක්‍රියාකාරි නිසා එහෙම මොකුත් හිතන්නත් අමාරුයි. ලොකු පූසිත් එක්ක කොහේ හරි ගියාද දන්නෙත් නෑ හැබැයි. ලොකු පූසිනම් දවල් ආවා. නමුත් අර අතුරුදන් උනු පැටවු දෙන්න නම් තවම ආවේ නැහැ. මල්ලියි වටේ පිටෙත් සෙව්වා නමුත් කිසිම හෝඩුවාවක් නැහැ. මටත් දුක හිතුනා ආපු නැති නිසා. ඒ නිසා තමා මම මේක ලියන්නේ. ඇයි මට දුක හිතුනේ කියල මම පොඩ්ඩක් අවදානයෙන් සිතලා බැලුවා. මට මේ පැටවු එක්ක මගේ තිබුනු සම්බන්ධතා මතක් උනා, සෙල්ලම් කරපු හැටි, හිමින් වැඩුනු හැටි වගේ දේවල්. මට දුක හිතුනේ මේ නැති උනු සත්තු දෙන්නට දරුණු දෙයක් සිදු උනා කියලා හිතුනු නිසාද නැත්නම් මට කලින් වගේ මා ප්‍රිය කරපු දේවල් උන් එක්ක කරන්න බැරිවෙන නිසාද? එතකොට මම මන් ගැනද බය වෙලා තියෙන්නේ උන් ගැනද? මට දුක එන්නේ හැම වෙලාවෙම මට සාපේක්ෂවද? මම පිට පිටම මගෙන ඇහුවා, "ඇයි මට දුක හිතුනේ, ඇයි මට දුක හිතුනේ" කියලා. දුක හිතෙන එක මම හිතනවා හැම සතාටම පොදුයි. ඒ උනාට වෙන කිසිම සතෙක්ට මේ විදියට හිතන්න බැහැ. ඒ නිසා වෙන්න ඇති මිනිසුන්ටම විතරක් රහත් වෙන්න පුලුවන්. කොහොම හරි මම හිතන්නේ අවංකව බැලුවොත් මට දුක හිතුනේ, සතාට තියෙන ආදරයකට නෙමෙයි මගේ මටම තියෙන ආදරයකට කියලා. එතකොට මිනිස්සු තව මිනිස්සුන්ටත් ආදරය කරනවා. ඒවත් මේ විදියමද? මම හිතන්නේ ඔව්. සමන්තබද්‍ර හිමියන් කිවූ දේ ඇත්ත. අපිට ජීවිතේ මුහුන දෙන්න ලැබෙන සෑම සුලු හෝ මහා සිදුවීමක්ම අපව නිවනට ලං කරන හෝ ඈත් කරන අවස්තාන්. අපිට අපේ සිතේ දුර්වල සහ සැඟවුනු අඳුරු ස්වභාව සොයාගෙන හදාගන්න පුලුවන් අවස්තා. මම හරිද වැරදිද මම දන්නේ නැහැ.